ආබාධිත අලි ඇතුන් ජලයට වී සිටින්නේ ඇයි?

2025 ජූනි 5කියවීම මිනිත්තු 2 යි
ආබාධිත අලි ඇතුන් ජලයට වී සිටින්නේ ඇයි?

ආබාධ සහිත අලි ඇතුන් ජලයට වී කල් ගත කරන බවක් බොහෝ සිදුවීම් තුළදී අප දැක ඇත. නමුත් මේ සඳහා හේතු කිහිපයක් පැවතිය හැක. සිද්ධිය අනුව බොහෝ දුරට හේතුව වෙනස් විය හැක.

1. වේදනාව අඩු කරගැනීම හා ප්‍රදාහක ප්‍රතිචාර (ප්‍රදාහයන්/ ඉදිමීම්) අවම කරගැනීම.


පාද සන්ධිවල හෝ වෙනත් අස්ථිවල වේදනාවක් පවතින විට මෙලෙස එම වේදනාව අවම කරගැනීමට ජලය ගිලී සිටියි. එමඟින් සන්ධිවල හා මෘදු පටකවල පවතින වේදනාව අඩු කරගැනීමට උත්සාහ කරයි.


2. ශරීර බර අවම කර පාදවලට අවම තෙරපුමක් ලබාදීම.


ද්‍රවල වස්තු පවතින විට එම වස්තුේ පරිමාවට සමානුපාතිකව උඩුකුරු තෙරපුමක් එම ද්‍රවයෙන් ලබා දේ. එම මූලධර්මයට අනුව අලියාගේ ශරීරයේ පවතින විශාල පරිමාව යොදාගෙන අලි වතුරේ රැඳී සිටියි. එම නිසා ජලයෙන් අලියාගේ ශරීරය වෙත ලබා දෙන බලය නිසා පාදවලට ලැබෙන තෙරපුම අවම වෙයි. එමඟින් සන්ධිවල වේදනාවක් හෝ පවතීනම් එය අවම කරගත හැක.


3. ශරීර උෂ්ණත්ව පාලනය හා ආතති තත්ව අවම කරගැනීම.


අලි ඇතුන්ගේ ශරීරයේ ජනනය වන අධික උෂ්ණත්වය පිටකරන ප්‍රධාන ආකාරය වන්නේ රුධිර කේෂනාලිකා ජාලයකින් පිරි කන් දෙකයි. අනෙක් සතුන්ට සාපේක්ෂව සමෙන් පිට කරන උෂ්ණත්වය අවමය. එමෙන්ම ස්වේද ග්‍රන්ථිද සමේ නොපවතින අතර උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රම ඉතා අවම සත්ව කොට්ඨාසයකි. එම නිසා ශාරීරිකව දුර්වල වූ සතුන් ජලයේ බැස සිටීම මඟින් තම ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීමට උත්සාහ කරයි.


4. ආසාදනවලින් ශරීරය ආරක්ෂා කරගැනීමට මැස්සන්වැනි කුඩා සතුන් ශරීරයේ දැවටීම අවම කරගැනීම.


ක්ෂුද්‍ර ජීවීන් හා වෙනත් පරපෝෂිත ජීවීන්ගෙන් සිදුවන ආසාදන බොහෝමයකට හේතුව වන්නේ මැස්සන් මදුරුවන් වැනි කෘමියන් ශරීරයේ දැවටීමයි. ජලයේ රැඳීම නිසා මැස්සන් වැනි සතුන්ට ජලය යාන්ත්‍රික බාධකයක් ලෙස පවතින නිසා ඔවුන්ට අලින්ගෙ ශරීරය වෙත ළඟාවිය නොහැක.


5. ප්‍රතිකාර කරන ලද අලියෙක් නම් ඔවුන්ට ලබා එන ප්‍රතිජීවක.


අලි ඇතුන්ට ලබා දෙන ප්‍රතිජීවක සහ ප්‍රදාහක ප්‍රතිචාර අවම කිරීමට ලබා දෙන බෙහෙත් නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යාම සිදුවේ. එම නිසා අලි ඇතුන් ප්‍රතිකාරවලින් පසු ජලයට වී බොහෝ කලක් සිටියි.


⛔ මෑත කාලීන සිද්ධියක් වන භාතිය ඇතාගේ සිද්ධියේදී මෙලෙස ජලයේ සිටීම ඇතාගේ සෞඛ්‍ය මට්ටම ඉතා දුර්වල බවට සමහර පුද්ගලයන් මවා දැක්වීමට උත්සාහ කරා. නමුත් එය බොහෝ දුරට ප්‍රතිජීවක නිසා විය හැකිය. කෙසේවෙතත් නිවැරදිම අපට පිටත සිට පැවසිය නොහැක. ඇතා ජලයේ සිට වුවද පාද තබාගෙන සිටි නිසා සහ ආහාර ලබාගත් නිසා බොහෝදෙනා පෙරට වඩා හොඳින් සිටින ලෙස වාර්තා කරා. කෙසේ වෙතත් භාතිය සුවපත් වී යළිත් සුපුරුදු ජීවිතයට ඉක්මනින් පැමිණීම අප සියලුදෙනාගේ බලාපොරොත්තුවයි.


Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...